මේ ගැන ඔයා මීට කලින් දැනගෙන හිටියේ නැහැ නේද?
- Get link
- X
- Other Apps
ුපර්මාකට් එකක හරි බාර් එකක හරි බියර් තියෙන රාක්කයක් දිහා බැලුවොත් පෙන්නේ මොකද්ද ? එක්කෝ බියර් බෝතල් දුඹුරු පාටයි, නැත්තම් කොළ පාටයි.කවදාවත් සාමාන්‍ය වතුර බෝතල් වගේ සම්පූර්ණයෙන්ම සුදු පාට විනිවිද පෙනෙන වීදුරුවලින් බියර් බෝතල් දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. මේක නිකන් ලෝක සම්මතයක් වගේ දෙයක්.
බොහෝ දෙනෙක් හිතන්නේ මේක නිකන්ම බ්‍රෑන්ඩ් එක ලස්සනට පෙන්වන්න කරන ඩිසයින් වැඩක් කියලා. ඇත්තටම මටත් මුලින් හිතුණේ මේක නිකන් පෙනුමට, එහෙමත් නැත්නම් මාකටින් එකට කරන දෙයක් කියලයි. හැබැයි මේක පිටිපස්සේ තියෙන විද්‍යාත්මක සහ ඓතිහාසික කතාව හොයලා බලද්දී තමයි තේරුණේ මෙතන තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස්ම සිදුවීම් දාමයක් කියලා.
මේ සම්පූර්ණ කතාව තේරුම් ගන්න නම් අපි මුලින්ම බියර් හදන්න ගන්න මූලිකම ද්‍රව්‍යයක් ගැන දැනගන්න ඕන. ඒකට කියන්නේ 'හොප්ස්' (Hops) කියලා.හොප්ස් කියන්නේ එකතරා ආකාරයක මල් විශේෂයක්.මේ හොප්ස් ශාකයෙන් තමයි බියර්වලට අර තියෙන සුවිශේෂී තිත්ත රසය, පෙන පිඬු සහ ආවේණික සුවඳ එකතු කරන්නේ. හොප්ස් නැත්නම් ඇත්තටම බියර් කියලා බීමක් නෑ. හැබැයි මෙන්න මෙතන තමයි ලොකුම විද්‍යාත්මක ගැටලුව නිර්මාණය වෙන්නේ.
මේ හොප්ස් ශාකයේ තියෙනවා අයිසෝ-ඇල්ෆා අම්ල (Iso-alpha acids) කියලා රසායනික සංයෝග විශේෂයක්.මේ සංයෝග ආලෝකයට අතිශයින්ම සංවේදීයි. අපි හිතමු සාමාන්‍ය විනිවිද පෙනෙන වීදුරු බෝතලයක බියර් දාලා අව්වේ තිබ්බා කියලා. එතකොට වෙන්නේ හිරු එළියේ තියෙන පාරජම්බුල හෙවත් UV කිරණ සහ නැනෝමීටර් 350 සිට 500 දක්වා පරාසයේ තියෙන නිල් ආලෝක කිරණ කිසිම බාධාවක් නැතුව වීදුරුව විනිවිදගෙන දියරය ඇතුළට ගමන් කරන එක.
තත්පර කිහිපයක් ඇතුළත මේ ආලෝක කිරණ අර හොප්ස්වල තියෙන අම්ල අණු කඩලා විනාශ කරලා දානවා.ඊටපස්සේ ඒ කැඩුණු අණු බියර් එකේ තියෙන සල්ෆර් එක්ක රසායනිකව බද්ධ වෙනවා. මේ බද්ධ වීමෙන් හැදෙනවා අලුත් රසායනිකයක්.විද්‍යාත්මකව මේකට කියන්නේ 3-MBT (3-methyl-2-butene-1-thiol) කියලා.
මේ රසායනික නම මතක තියාගන්න ඕන නෑ. සරලවම කිව්වොත්, මේ සංයෝගය ඇමරිකාවේ වනාන්තරවල ඉන්න ස්කන්ක් (Skunk) කියන සතා තමන්ගේ ආරක්ෂාවට විදින අධික දුගඳ හමන ශ්රාවයට සමානම එකක්.මේ රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වුණ ගමන් මුළු බියර් බෝතලයම කුණු වෙච්ච රබර් හරි මුත්‍රාවලින් හරි එන ජාතියේ පිළිකුල් සහගත අප්‍රසන්න ගඳකින් පිරිලා යනවා.
කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ (UC Davis) බීර නිෂ්පාදනය පිළිබඳ විද්‍යාඥයන් සහ පර්යේෂකයන් මේ ගැන දීර්ඝවශයෙන් පරීක්ෂණ කරලා තියෙනවා. ඔවුන් හොයාගෙන තියෙන විදියට, මිනිස් නාසයට මේ 3-MBT රසායනිකයේ අංශු ට්‍රිලියනයකින් එකක් (1 part per trillion) පවා ක්ෂණිකව හඳුනාගන්න පුළුවන්.
හිතන්න, ඒක හරියට ඔලිම්පික් පිහිනුම් තටාකයකට දැම්ම තනි වතුර බිංදුවක් වගේ පුංචි ප්‍රමාණයක්.ආලෝකයට නිරාවරණය වෙලා රසය සහ සුවඳ විනාශ වෙන මේ ක්‍රියාවලියට විද්‍යාවේදී කියන්නේ "Skunked Beer" එහෙමත් නැත්නම් "Lightstruck" වෙනවා කියලා. ඉතින් 19 වෙනි සියවසේ අග භාගයේදී මිනිස්සුන්ට මේ ප්රශ්නය ලොකුවටම දැනෙන්න ගත්තා. විනිවිද පෙනෙන බෝතල්වල තිබ්බ බියර් ටික දවසකින් බොන්න බැරි තරමට නරක් වෙනවා කියලා ඔවුන් දැක්කා.
ඊටපස්සේ ඔවුන් කළේ මේකට විසඳුමක් විදියට වීදුරු නිෂ්පාදනයේදී යකඩ, සල්ෆර් සහ කාබන් එකතු කරලා දුඹුරු පාට (Amber) වීදුරු බෝතල් හදන එක.දුඹුරු පාට වීදුරුවලට පුළුවන් ආලෝකයේ තියෙන හානිකර UV කිරණ සහ කෙටි තරංග ආලෝකය 90%කට වඩා සම්පූර්ණයෙන්ම අවහිර කරන්න.හරියට අපි ඇස් ආරක්ෂා කරගන්න දාන කළු කණ්ණාඩියක් වගේ තමයි. දුඹුරු වීදුරුව ඇතුළට ආලෝකය යන්නේ නෑ. බියර් එක මාස ගණනක් ගියත් මුලින් තිබ්බ රසයෙන්ම සහ නැවුම් සුවඳින්ම ආරක්ෂා වෙලා තියෙනවා.
හැබැයි මේ කතාවේ තවත් පැත්තක් තියෙනවා. ඒක ඇහුවාම මටත් පුදුම හිතුණා.දුඹුරු පාට වීදුරුව මෙච්චර හොඳ නම් ඇයි අදටත් අපි කඩවල්වල කොළ පාට බෝතල් ඕන තරම් දකින්නේ? මෙතන තියෙන්නේ විද්‍යාවකට වඩා, ඉතිහාසයේ වෙච්ච අහඹු සිදුවීමක්. දෙවන ලෝක සටන පටන් ගත්තාට පස්සේ යුරෝපය පුරාම දුඹුරු වීදුරු හදන්න ගන්න අමුද්‍රව්‍යවල දැවැන්ත හිඟයක් ඇතිවුණා. දුඹුරු බෝතල් හදන්න විදියක් නැති වුණ නිසා යුරෝපයේ බීර නිෂ්පාදකයන් ක්‍රෝමියම් ඔක්සයිඩ් යොදාගෙන හදන කොළ පාට වීදුරු බෝතල්වලට මාරු වුණා.
එම ලෝක ගැටුම ඉවර වුණාට පස්සේ බැලින්නම් මිනිස්සුන්ට මේ කොළ පාට බෝතල් වලට මිනිස්සු ඇබ්බැහි වෙලා.විශේෂයෙන්ම Heineken, Carlsberg, Stella Artois වගේ ප්රමුඛ පෙළේ යුරෝපීය සමාගම් තමන්ගේ නිෂ්පාදන ඇමරිකාවට සහ ලෝකයේ අනිත් රටවලට යවද්දී දිගටම කොළ පාට බෝතල් පාවිච්චි කළා.ඒ කාලේ යුරෝපයෙන් ආපු කොළ පාට බෝතල් සාමාන්‍ය බියර්වලට වඩා මිලෙන් වැඩි වුණා.
මේ නිසා පාරිභෝගිකයන්ගේ මනසේ අමුතු ප්‍රතිරූපයක් හැදුණා "කොළ පාට බෝතලයක එන්නේ උසස්, ප්‍රමිතියෙන් ඉහළ Premium බියර්" කියලා. ඇත්තම කතාව කිව්වොත්, කොළ පාට වීදුරුවට UV කිරණ අවහිර කරන්න පුළුවන් ඉතාම සුළු ප්‍රමාණයකින් විතරයි. දුඹුරු පාට තරම් කොළ පාටින් බියර් එක ආරක්ෂා වෙන්නේ නෑ. ඒක සම්පූර්ණයෙන්ම ඓතිහාසික අහඹුවක් සහ මාකටින් මඟින් හදපු මානසිකත්වයක් විතරයි.
එහෙනම් අදටත් කොළ පාට බෝතල්වල තියෙන බියර් නරක් නොවී තියෙන්නේ කොහොමද කියලා ඔබට හිතෙන්න පුළුවන්. හේතුව තමයි, කඩවලට ගේනකල්ම මේවා තියෙන්නේ ආලෝකය නොයන ඝන කාඩ්බෝඩ් පෙට්ටි ඇතුළේ.දැන් ඔබට තවත් ප්‍රශ්නයක් එන්න පුළුවන්, Corona Extra හරි Miller High Life හරි වගේ සමහර ලෝක ප්‍රසිද්ධ වෙළඳනාම අදටත් සම්පූර්ණයෙන්ම සුදු විනිවිද පෙනෙන වීදුරුවලින් එන්නේ කොහොමද කියලා.
මෙතනදී තමයි නූතන විද්‍යාව මේකට අපූරු විසඳුමක් දෙන්නේ.විද්‍යාඥයන් ආලෝකයට ප්‍රතික්‍රියා නොකරන විශේෂ හොප්ස් සාරයක් (Tetra-hops) නිර්මාණය කරන්න සමත් වුණා. එහෙම නැත්නම් වීදුරුවට නොපෙනෙන UV ආලේපනයක් එකතු කරනවා. ඒ නිසා විනිවිද පෙනෙන බෝතලයක තිබ්බත් බියර් එක නරක් වෙන්නේ නෑ. හැබැයි ඉතින් සම්ප්‍රදායික විදියට හදන බියර් එකකට තවමත් තියෙන හොඳම විසඳුම දුඹුරු වීදුරුව හරි ආලෝකය බිංදුවක්වත් ඇතුළට නොයන ඇලුමිනියම් කෑන් විතරයි.
Copied
- Get link
- X
- Other Apps

Comments
Post a Comment